ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලයේ වෙබ් අඩවිය සඳහා අමාත්‍යතුමාගේ පණිවිඩය….

 

රටක්  සංවර්ධනය සාමය හා සමෘද්ධිය ස්ථාවරව පැවතීම සදහා ජීවත්වන ජනතාව තුළ සාමය හා සංහිදියාව පැවතීම අත්‍යවශ්‍ය කරුණකි. බහු වාර්ගික බහු ආගමික ප්‍රජාවක් වාසය කරන ශ්‍රී ලංකාව වැනි රටක සමගියෙන් සංහිදියාවෙන් තොරව අනාගත අපේක්ෂාවන් දල්වා ගත නොහැක.

 

දේශයක් ලෙස ඉදිරියට යාමේ අරමුණින් යුතුව නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ජාති, ආගම් සියලු භේදයෙන් තොරව ජනතාව එක් අරමුණක් වෙනුවෙන් පෙළගැසී සිටියි.

 

ජාතීන් අතර සංහිදියාව ඇති කරන බවට පසුගිය කාලය පුරාවට ප්‍රකාශ වුව ද එම ප්‍රකාශයන් හුදෙක් ප්‍රකාශයන්ම පමණක් වු බැවින්, ජාතික සමගිය ආගමික සුහදත්වය ප්‍රායෝගික යථාර්තයක් බවට පත් කරන වැඩ පිළිවෙලක අවශ්‍යතාවය වර්තමානය වන විට අන් කවරදාටත් වඩා දැනෙමින් තිබේ.

 

ජාතීන් අතර පවත්නා අවිශ්වාසය සැකය එම ජාතීන් අතර පැවතිය යුතු සමගියට සංහිඳියාවට බාධාවන් වන බැවින් එකිනෙකා කෙරෙහි විශ්වාසය ඇතිවන සමාජයක් ගොඩනැංවිය යුතුය. ජාතීන් අතර පැවති සැකය අවිශ්වාසය හේතුවෙන් තිස් වසරක ශාපලත් යුද්ධය ඇතුළු තවත් ඛේදනීය සිදුවීම් රැසකට මුහුණදීමට අපට සිදු විය.

 

දේශයක් ලෙස එක්ව එකාවන්ව එක්සිත්ව කටයුතු කළ යුතු බව උතුරු දකුණු භේදයකින් තොරව සියලු ජනතාව සනාථ කර ඇති බව වර්තමාන රජය කෙරෙහි තබා ඇති ජනතා විශ්වාසයෙන් පැහැදිලිවන කරුණකි. එම විශ්වාසය සුරක්ෂිත කිරීම සඳහා ස්ථාවර සංහිදියා වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අපගේ මුලික පර්මාර්ථයකි.

 

අප රට තුළ විවිධ ජාතීන් ආගමිකයන් ජීවත් වුවද පවතින විවිධත්වය සාමය සංහිදියාව ගොඩනැංවීමේ ක්‍රියාවලියේදී ආශිර්වාදයක් කර ගත යුතු අතර, ජාතික සමඟිය ආගමික සුහදත්වය ගොඩනැංවීමේ පාලම බවට ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලය පත් කරගත යුතුය.

 

ජාතික හා ආගමික අනන්‍යතාවයන්ට ගරු කරමින් විවිධත්වය අවබෝධ කරගනිමින් සියලු ජනතාවට සාමයෙන් එකමුතුව ජීවත්වීමට අවශ්‍ය මුලික වටපිටාව සකස් කර දෙමින් එකිනෙකාගේ සංස්කෘතික හා දේශපාලන නිදහස සහතික කළ හැකි සංහිඳියාව අගයන සමාජයක් බිහි කිරීමට මුලිකත්වය ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලය වැනි ආයතන තුළින් ජනතාව අපේක්ෂා කරයි.

 

මානව අයිතීන් , නිදහස, නීතියේ විධානයේ ආධිපත්‍යයට හා  සමානාත්මතාවයට ගරු කිරීම මෙන්ම ජාතිය ආගම, භාෂාව, කුලය වැනි කරුණු නිසාවෙන් වෙන්ව නොසලකන සමාජ වටපිටාවක් ගොඩනැංවීම සදහා දේශය මෙහෙයවීම එම කාර්යාලයේ අරමුණ විය යුතුය.

 

ආගමික සුහදත්වය හා ජාතික සමගියට හානිවන කිසිඳු ක්‍රියාවක් සදහා ඉඩ නොතැබිය යුතු අතර, භේදයකින් තොරව සියලු දෙනාගේ අයිතීන් ආරක්ෂා වන පරිදි ක්‍රියාකිරීමට හැකි දේශයක් ගොඩනැංවීමට අදිටන් කර ගත යුතුය.

 

නීතිඥ, හර්ෂණ නානායක්කාර

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය