පුනරුද යුගයක නිදහස් සැමරුම- 2025

 

මිනිස් බව ලබා උපත ලබන මානවයාට එම මිනිස් බව උසස් මිනිස්කමක් ලෙස වර්ධනය කරගැනීමට නිදහස අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වේ. මානව ඉතිහාසය පුරා නිදහස දිනාගැනීම වෙනුවෙන් මිනිසුන් අනවරත අරගලයක යෙදී සිටී. එසේම මානව සමාජය තුළ ප්‍රබලයන් බවට පත්වූ ඇතැම් කොටස් තම අසීමිත නිදහස වෙනුවෙන් සෙස්සන් යටපත් කර වහල් බවට පත් කරගැනීමට ගන්නා උත්සාහයන් විවිධ ස්වරුපයෙන් මතුවීම ද නිරීක්ෂණය කළ හැකිවේ. මේ යථාර්තයන් ශ්‍රී ලාංකීය සමාජයීය ඉතිහාසය පුරා අපි අත් විදින්නෙමු.

 

ශ්‍රී ලාංකීය සමාජයට සෘජු ලෙස එල්ලවූ ආක්‍රමණික බලපෑම්වලින් නිදහස් වීමේ සතුට 76 වසරක් පුරා සැමරූ මෙරට සමාජයේ අභ්‍යන්තරිකව වර්ධනය වූ තත්ත්වයන් නිසා අප අත් කරගත් නිදහස වරින් වර පලුදුවී ගිය සැටි 30 වසරක් පුරා ඇවිලුණු බිහිසුණු යුද්ධය ඇතුලු කැරළි සහ කෝලහාලවලින් තහවුරු වේ. එම සංකීර්ණ තත්ත්වයන් අපට පසක් කර දෙන්නේ මානව නිදහස උල්ලංඝනය කරන පසුගාමී මානව හැසිරීම්වලින් ජාතියක් ලෙස අප නිදහස් වී නොමැති බවයි. මෙහිදී ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය තම ප්‍රමුඛ අවධානය යොමු කරන්නේ ශ්‍රී ලාංකීය සමාජයේ ජන විවිධත්වය අගයමින් මගහැරගත හැකි පීඩාවන් සහ අර්ථවත් කරගත හැකි නිදහස පිළිබඳව ප්‍රමුඛව මැදිහත් වීමටය. අප ඉදිරියේ විවර වී ඇත්තේ ඊට සුදුසුම මොහොතය.

 

මානව දයාවෙන් පිරුණු සමාජයක් සාක්ශාත් කර ගැනීමත් සැමට සමාන නිදහසක් උදාකරලීමේ වගකීමත් අප සතු බව තරයේ විශ්වාස කරමු. එබැවින් වත්මන් රජයේ සංකල්පය වන CLEAN SRI LANKA වැඩසටහනට සමගාමීව ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය  WE SRI LANKANS” සංකල්පය හා වැඩපිළිවෙළ සමාජ ගත කරනු ලබන්නේ ශ්‍රී ලාංකීය ජන විචිත්‍රත්වය ආශ්වාදනය කරමින් මානව නිදහස උත්තරීතර ලෙස අර්ථවත් කළ හැකි සමාජ වටපිටාවක් ගොඩ නැගීමටය. ශ්‍රී ලංකාවේ මානව විචිත්‍රත්වය පිළිගැනීමට, අගය කිරීමට, විඳ දරාගැනීමට සහ උත්කර්ශයට නැන්වීමට අවශ්‍ය වටිනාකම් රෝපණය කළ යුතුය. මෙම සද්මෙහෙවර යථාර්තයක් කරගැනීම සඳහා 77 වැනි නිදහස් සැමරුම සුභ නිමිත්තක් කර ගනිමු.

 

සභාපති ඇතුළු කාර්යමණ්ඩලය

ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය