වත්මන් ආණ්ඩුව ජාතික සමගිය දකින්නේ කොහොමද?
ඇත්තටම අපි ආණ්ඩුවක් ලෙස පත් වෙලා දැනට මාස හයක් පමණ ගත වී තිබෙනවා. විශේෂයෙන් මේ මාස හයක පරිජ්ජේදය තුළ,පාර්ලිමේන්තු මැතිවරණය, අයවැය හා පලාත් පාලන මැතිවරණ ආදී කටයුතු කිහිපයකටම දිගින් දිගටම මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ අතර තුල කාලයේ පැහැදිලිවම අපි පුන පුනා කිව්ව දෙයක් තමයි, මේ රට ගොඩනැගෙනවා නම්, ආර්ථික වශයෙන් විතරක් නොව, සමගි සහජීවනය පැත්තෙනුත් අපේ රට ගොඩනැගිය යුතුයි කියන කාරණාව. රටක් වශයෙන් මෙරට, විවිධ ජාතීන් ආගම් ජීවත් වුණත්, අපි සියළු දෙනාම ශ්‍රී ලාංකිකයන් යන හැගීමෙන් තොරව කටයුතු කළ මනෝභාවයක් තමයි පසුගිය සමයන්හී අප දිගින් දිගටම දැක්කේ.
එකිනෙකාට චෝදනා කරමින්, විවිධ සිද්ධීන් අලලා නැවත නැවත ජාතිවාදය ආගම්වාදය ප්‍රදේශවාදය මතු කරන කටයුතු තමයි අපි දැක්කේ. සමහර මාධ්‍ය දිගින් දිගටම ඒ තත්වය බරපතල කිරීම සදහා අවකාශය සලසන තත්වයකුත් තිබ්බා. ඉතිං ඒ පසුබිම සමග තමයි ජාතික සමගිය විශේෂ අවධානයක් යොමු විය යුතු කාරණාවක් ලෙස ජාතික ජන බලවේගය දකින්නේ. මේ කෙටි කාලය තුළ ජාතික සමගිය වෙනුවෙන් වෙනමම යාන්ත්‍රණයක් නිර්මාණය කරලා, ඒ සදහා වැඩ පිළිවෙලවල් හදලා වැඩ කරනවට වඩා, මීට පෙර තිබූ ඒ යාන්ත්‍රණය ඔස්සේ එය ශක්තිමත් කරමින් නිසි පරිදි පවත්වාගෙන යන ආකාරය ගැන අපි අධ්‍යයනය කරමින් ඉන්නවා. ඒ කාර්යබාර්ය ඉටු කරන ආයතන තිබෙනවා. ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලයන් ඒ ක්ශේත්‍රයන් පිළිබඳව අවබෝධය තිබෙන හා දැනුම තිබෙන, අවංකව මෙරට සාමය ඇති කළ යුතුය යන හැගීමත් එක්ක මීට පෙර භූමියේ වැඩ කරපු අයව පත් කරලා, ඔවුන් හරහා විශේෂයෙන් ඒ සැලසුමත් ක්‍රියාවට නංවමින් වැඩ කරන්න තමයි අපි කටයුතු කරන්නෙ. මේ මොහොතේදීත් පුංචි පුංචි ප්‍රශ්න වලට මැදිහත් වෙලා කටයුතු කරනවා.
වත්මන් ජනාධිපති තුමන්ට ලැබුණු උතුරු ජන්ද ගැන සැලකීමෙදී උතුරේ ජනතාවට වත්මන් ආණ්ඩුව කෙරෙහි යම් බලාපොරොත්තු තිබ්බා නේද?
ජනාධිපතිවරණය තුළ නම්,අපට සැලකිය යුතු තරම් උතුරයි නැගෙනහිරයි කදුකරයයි ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ නෑ. ජනාධිපතිවරණය තුළදී කරට කර හෝ සමහර අවස්ථා වලදී අපිට වඩා අපේ විරුද්ධ පක්ෂයයේ කෙනා ජන්ද ගන්නවා අපි දැක්කා.ඊට හේතුවකුත් තිබ්බා. ජාතික ජනබලවේගය පිළිබඳව විශාල බියක් ගොඩනැගී තිබ්බා, අපි බලයට ආවොත් මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියලා දැවැන්ත මඩක් අරන් ගියා. ඉතිං ජනතාව අතීතය එක්ක ගළපලා තමයි ඒ අවස්ථාවේදී තීන්දු තීරණ ගත්තේ. හැබැයි මහ මැතිවරණය වන විට ජනතාවට තේරුම් ගියා, විපක්ෂය විසින් ගෙන ගිය ප්‍රචාරය අසත්‍ය බව හා අපිත් අපේ ක්‍රියාවෙන් භාවිතාවෙන් ඔප්පු කළා අපේ අරමුණ කුමක්ද බව. ඒ ඔස්සෙ තමයි අර ප්‍රදේශ වල ජනතාවට අපි කෙරෙහි විස්වාසය ඇති වෙලා, මහමැතිවරණය වන විට මඩකලපුව හැර රටේ සෑම දිස්ත්‍රික්කයකින්ම විශාල ජයග්‍රහණයක් ලබා ගන්න හැකි වුණේ. ඇත්තටම අද වෙනකොටත් රටේ ජනතාවට පාරම්පරික පක්ෂ පිළිබඳව විශාල කලකිරීමක් ඇති වී තිබෙනවා. ඒවත් පදනම් කරගෙන විශාල ජයග්‍රහණයක් ලබා ගන්නට හැකි වුණා.
පාර්ලිමේන්තු මැතිවරණයකදී උතුරුකරයෙන් මේ වගේ ප්‍රථිපලයක් ලබා ගන්න, ඔබලා එම ජනතාවගේ හදුනාගත් විශේෂ අවශ්‍යතාවයක් තිබ්බද?
දමිල ජනතාවගේ පැත්තෙන් ගත්තාම අපි හදුනාගත් දෙයක් හා දමිල ජනතාවටත් තේරුම් ගිය දෙයක් තමයි,තමන්ව නියෝජනය කරන දේශපාලන පක්ෂ බොහෝ දුරට ඔවුන් සමග සිටින්නේ මැතිවරණ ජයග්‍රහණය තෙක් පමණයි සහ ජයග්රහණයෙන් පසු ඔවුන්ගේ ක්‍රියා කලාපය වෙනස් හා වෙනස් අරමුණු වෙනුවෙන් තමයි මේ දේශපාලනය කරන්නේ කියන කාරණාව තද බලව වැටහී තිබ්බා.
අනෙක් කාරණාව වන්නේ, බොහෝ නායකයන් මැතිවරණ කාලයට ගම් බිම් වලට එනවා සහ පසුව ඔවුන් කොළඹට කේන්ද්‍ර ගත වන තත්වයක් තියෙනවා. එයත් විශාල ලෙස බලපා තිබුණා. දිගින් දිගටම ඔවුන්ගේ හැසීරීම් කෙරෙහි ජනතාවට තෘප්තියක් තිබ්බේ නෑ. ඊට අමතරව ජාතික ජනබලවේගයේ අපි, ඒ ප්‍රදේශය තුළත් අපේ කොට්ඨාස සභා හා බිම් මට්ටමටම ගොස් ජනතාව ආමන්ත්‍රණය කරලා, ඔවුන් සමග සාකච්ඡා කරලා, අප පිලිබදව විස්වාසය ගොඩනගන යාන්ත්‍රණයකුත් නිර්මාණය කිරීම ඊට ප්‍රධාන සාධකයක් වුණා. ඒ මත සහා පෙර සදහන් කල කාරණා වන පාරම්පරිකව තිබ්බ දේශපාලනය කෙරෙහි වූ කලකිරීමත් දේශපාලන දූෂණ හා කඩාවැටීම් ජනතාවට දැනෙන්නට පටන් ගැනීමත් ආදී කාරණා එම ප්‍රදේශ වල ජන්දය ලැබීමට හේතු වුණා.
උතුරේ දකුණේ තිබ්බ භේදය දීර්ඝ කාලයක පටන් රටේ සංවර්ධනයට බලපෑවා. එමෙන්ම රටේ සංවර්ධනයට උතුරු ප්‍රදේශ වල බොහෝ ශක්‍යතාද තිබෙනවා. එවන් දේ අරඹයා විශේෂ ව්‍යාපෘති ආරම්හ වී තිබේද?
අනිවාර්යෙන්ම. අපේ අයවැය තුළත් ඒ පිලිබදව සදහන් වනවා. දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන්ට රටේ සංවර්ධනයෙන් විශාල කොටසක් අහිමි වෙලා තිබුණා. උතුර ඉලක්ක කරලා කර්මාන්තපුර, ධීවර ක්ශේත්‍රය මුල් කරගත් කර්මාන්ත, බලශක්තිය ආදිය කේන්ද්‍ර කරගත් ව්‍යාපෘති කිහිපයක් හදුනාගෙන තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා හා කරුණු කාරණා අධ්‍යයනය කරමින් පවතිනවා. මං හිතන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් අපි විවිධ ව්‍යාපෘති හදුන්වා දෙමින් යන තත්වයක් තිබෙන්නෙ. නැගෙනහිරත් මේ ආකාරයට සාකච්ඡාවට බදුන් වෙනවා. කෙසේ වෙතත් මුළු රටම ඉලක්ක කරගත් සංවර්ධන ව්‍යාපෘතියක් අවශ්‍යයි. මෙවර ආණ්ඩුව භාර ගන්න විට තිබුණේ, වෙන ආණ්ඩු භාර ගන්න විට තිබ්බ තත්වය නොවේ. විශේෂයෙන් යහපාලන ආණ්ඩුව ගත් විට, ඔවුන්ට රිසි සේ ණය ගන්න පුළුවන් තත්වයක් තිබ්බා. නමුත් අපි බලය ගන්න විට අපිට භාර වෙන්නේ ගිවිසුම් ගත රටක්. විශේෂයෙන්ම පහුගිය ආණ්ඩු වලට රිසි සේ මුදල් අච්චු ගහන්න පුළුවන් තත්වයක් තිබ්බා. හැබැයි අපිට තහංචි බාධා සීමා මැද්දේ අපි බලය අරන් තියෙනවා. ඒ බාධා මැද්දෙත් අපි මේ රට හරි දිශාවට යොමු කරන කාර්යයේ නිරත වෙනවා. ඒ නිසා මේ රටේ කිසිම පුරවැසියෙකුට දැනෙන්නේ නැති වෙන්න ඕන, සංවර්ධනය නොසලකා හැරලා තියෙන බව. ජාතික සමගියේදී ඉතාම වැදගත් මේ රටේ සමස්ථ ජනතාවට දැනෙන්න ඕන මේ සංවර්ධනය තුළ තමන්ටත් පංගුවක් ලැබෙන බවට. එවැනි තත්වයක් ඇති නොකර ජාතික සමගියක් හදන්න අපිට බෑ.
ඉස්සරහට පලාත් සභා ක්‍රමය හදුන්වා දෙනවද?
අපේ ප්‍රතිපත්ති තුළම සදහන් කර තිබෙන කාරණාවක් තමයි, මං හිතන්නේ ඇත්තටම පලාත් සභා ක්රමයටත් වඩා සියළු ජනතාවට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් මීටත් වඩා හොද ක්‍රමයක් වේ නම් ඒ ක්‍රමය පිළිබඳව සලකා බලනවාය කියන කාරණාව.
සම අවස්ථා ලාබය ගැන තියෙන ප්‍රතිපත්ති මොනවගේද?
අපේ රටේ ආර්ථිකය කර්මාන්ත ආදිය ගොනු වෙලා තිබුණේ බස්නාහිර පලාතට. උතුරුට විතරක් නෙවෙයි, තවත් පලාත් වලත් ශ්‍රම තුලින භාවය තිබුණේ නෑ. රටක් ලෙස ඉදිරියට යන විට ඒ පිළිබඳව සලකා බලලා ජනාධිපතිතුමත් සදහන් කළා, සංවර්ධන ප්රතිලාභ මුළු රටටම විහිදෙන විදිහට ක්‍රමවේදයකට යටත්ව සකස් කළ යුතුය කියන කාරනාව. විවිධ පලාත් වල විවිධ විභවතාවයන් තිබෙනවා. ඒවා හදුනාගෙන ඒ අනුව කටයුතු කරමින්, විශේෂයෙන් භාෂා ගැටලු ආදියට මෙන්ම ඒ පරතරය අඩු කරන්න විවිධ වැඩපිළිවෙළවල් සකස් කර තිබෙනවා. අපිට ඒ සදහා අනාගතයේදී වෙහෙස මහන්සි වී වැඩ කරන්න සිද්ධ වේවි.
අධ්‍යාපනය සදහා සහජීවනය සම්බන්දව විශය නිර්දේශයන්ට ගෙන ඒමට අදහසක් තිබෙනවාද?
අලුත් අධ්‍යාපන ක්‍රමවේදයකට යා යුතුය කියන එක තමා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය තුළ තියෙන්නේ. එකී අධ්‍යාපනය තුළත් සියළු දෙනාට නිසි තැන නිසි ගෞරවය ලැබෙන අධ්‍යාපන ක්‍රමයක් ගැන තමයි අපි බලාපොරොත්තු වන්නේ.
අතුරුදහන් වූවන් සම්බන්ද කාරණා සහ නැවත පදිංචි කිරීම් සම්බන්ධ කාරණා සදහා වන ජාතික ජනබලවේගයේ වැඩපිළිවෙළ මොනවගේද?
අපි විස්වාස කරනවා මොනයම් හෝ පාර්ශවයකට අකටයුටුතුකම් සිද්ධ වෙලා තියෙනවා නම්, රජයක් ලෙස අපිට වන වගකීම වන්නේ ඔවුන්ගේ ඉල්ලීම ගැන සලකා බලා සාධාරණව කටයුතු කිරීම. ජාතික ජනබලවේගය විසින් අතුරුදහන් වූවන් පිළිබඳව, හානිපූරණ පිළිබඳව කාර්යාල හරහා ඔවුන්හේ ඉල්ලීම් පිලිබදව කඩිනමින් කටයුතු කල යුතුය යන ස්ථාවරත්වය තුළ තමා අපි ඉන්නේ.
ජාතික සමගිය ගැන ජනතාව දැකිය යුතු ආකාරය මොනවගේද?
අපි ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් වැටී තිබෙන රටක්.මේ රට ගොඩනැගෙන්න නම් අපි ආර්ථික වශයෙන් මෙන්ම ආකල්පමය වශයෙන් ඉදිරියට යන්න ඕන. මේ රට තව දුරටත් ජාතිවාදී හෝ ආගම්වාදී කෝලහාලයකට යන්න පුළුවන් කමක් තියෙන රටක් නොවේ. ඒ නිසා මාධ්‍යයටත් සුවිශේෂ කාර්ය බාර්යක් තිබෙනවා. එනම් මේ රට විනාශ කරන්න ඉඩ නොදී, නැවත නැවත ජාතිවාදය අවුස්සන්න ඉඩ නොදී,පදනම් රහිත චෝදනා එල්ල කරන ඒවා සමාජ ගත කරලා සමාජය භීතියකට පත් වන තත්වයට පත් නොකර කටයුතු කරන්න. ඒ වගේම පුරවැසියන් ලෙස සියළු දෙනාගේ වගකීමක් තියෙනවා මේ රටේ සාමය ගොඩනගන්න. ආයතනයකට විතරක් සාමය ,සංහිදියාව රැකගන්න බෑ. ඊට පුරවැසියන් වශයෙන් කටයුතු කළ යුතු අතර යම් අයෙක් බලය ලබා ගැනීම සදහා ජාතිවාදය ආගම්වාදය පතුරුවයි නම්, ඒවා තද බල ලෙස ප්‍රතික්ෂේප කරමු. මේක අපි එකා වගේ එකට යන්න ඕන ගමනක්.
ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ තරුණ මාධ්‍ය කණ්ඩායම් සාමාජික,
හංසිකා වීරසිංහ